8 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු 28 වෙනි දින සවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද  උන්නාන්සේ විසින් කල කතාව )


මේ පාදිලි තැන මීට ඉහත කතා කරද්දී  මට ‘විරුද්ධ කාරයා’ය කියාත් මවිසින් ඒ ගැන කාරනා කීවායින් පසු ‘මිත්‍රයාය’ කියාත් ව්‍යාවහාර කාලය. එයින් ඔහුගේ වැරැද්ද ඔහුටම තේරුම් ගිය බව පෙනේ. එම නිසා
ඒ ගැන යමක් කියන්ට ඕනෑකරන්නේ නැත.
පසුගිය අගහරුවාදා උදය වරුවේ මේ පාදිලි තැන කල කතාවේදී මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා බුද්ධාගමේ තිබෙනවාය යි කීවාය. එබදු ඉගැන්වීමක් බුද්ධාගමේ පොත්වල නැත.
මනුෂ්‍යන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමේය. ඒ බව මීට ඉහත බයිබලයෙන්ම වරක් මා විසින් ඔප්පු කාලය. නුමුත් ඒ කාරනාවම තව වරක් ඔප්පු කරමු. මක් නිසාද? ඒ ප්‍රස්තාවට ඒ කතාව අහගන නොසිටි වැදගත් උදවිය දැනට පැමිණ සිටින නිසාය. 

දේශනා කාරයාගේ 1 වෙනි පොතේ 3 වන පරිච්චේදයේ 19 වන පදේ මෙලෙස තිබේ. මනුෂ්‍ය පුත්‍රයන්ට වෙන දේ මුර්ගයන්ටත් වෙන්නේය. එකම දෙයක් ඔවුන්ට සිදු වේ.  එකෙක් නසින හැටියේ අනිකා නසින්නේය. ඔවුන් සැමටම ඒක හුස්මක මුර්ගයෙකුට වඩා මිනිහෙකුට කිසි උතුම් කමක් නැත.”  ඉතින් මනුෂ්‍යයන් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව මෙයින් පැහැදිලිව ඔප්පු වේ. ‘මනුශ්‍යන්ට් මුර්ගයන්ට සමාන කරලා තිබෙන බව ක්‍රිස්තියානි ආගමෙන් ඔප්පු කරන්ට බැරිය’ කියා මේ පාදිලි තැන කී නමුත් ” ඔවුන් සැමටම එක හුස්මක” යන බයිබලයේ තිබෙන වචන වලින්ද මුර්ගයන්ගේද, මනුශ්‍යන්ගේද, වෙනසක් නැති බව ඔප්පු වේ.
පටිචචා සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ අමාරුව ප්‍රකාශ කිරීම පිණිස බුද්ධඝෝස  තෙරුන්නාන්සේ විසින් දක්වා තිබෙන “වනතු කාමෝ අහිං අජ්ජ” යනාදී ගාථාවේ අභිප්‍රාව මා විසින් කියාදී ඉන් පසු මගේ දැනුම් පමණින්
පටිචචා සමුප්පාද ධර්මය  තේරුම් කර දුන්නා ඇත. එම නිසා බුද්ධගෝෂ තෙරුන්නාන්සේ ට  වඩා මම සමර්තයෙක් වෙන්නේ නැත. එබන්දක් මා විසින් ඇගෙව්වේවත් නැත.  මෙලෙස නිවැරදි කළාවූ මාගේ ඒ කතාවට මේ පාදිලි තැන දොස් කීවේ මොහුගේ පාලි දැනීමේ තරම මා විසින් මේ සමුහයාට පෙන්වා කල කතාවට ඊර්ෂ්‍යාවෙන් යයි සිතමි. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන නොකරයි.

තවද මේ පාදිලි තැන පටිච්චා සමුප්පාද  ධර්මය ගැන නවත්ත කියා දෙනවාය කියා පටන් ගෙන කාටවත් නොතේරෙන හල්ලක් කියාගෙන ගොස් “බුදුන්ගේ ඉගැන්වීම අවුල් සහිතය” කියාද, “එකකට එකක් විරුද්ධය” කියාද තීන්දු කාලය. මේ පාදිලි තැන කී ලෙස පටිච්චා සමුප්පාද  ධර්මයෙහි අවුලක්වත් එකකට එකක් විරුද්ධ කමක්වත් ඇත්තේ නැත.  මේ පාදිලි තැනට උත්පත්ති විඥාන චිත්තයෙන්  ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ශ්‍රොත විඥානය ආදීන්ගේ වෙනස තේරෙන්නේ නැත. එසේ තේරෙනවානම්, “පටිච්චා සමුප්පාද  ධර්මය අවුල්ය. එකිනෙකට විරුද්ධය” කියන්නේ නැත. උත්පත්ති විඥාන චිත්තයෙන්  ඇස් කන් නාසාදිය සම්බන්ධව පවතින් චක්ෂු විඥාන, ආදීන්ගේ වෙනස දන ගැනීමට මීට ඉහත වරක් මා විසින් කාරනා කියා දුන්නාය. එම නිසා මෙහිදී ඒ ගැන වඩා විස්තර නොකරමි.

මේ පාදිලි තැන “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාක් මෙන් පටිච්චා සමුප්පාද  ධර්මය ද අවුල්ය කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එම නිසා ඒ ගැන යමක් නොකියාම බැරිය.
“අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය”  කීවාම ඒ උත්පත්තියේ වටකුරු ගතියක් තිබේ  එබදු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබේ. ඒ කෙසේද:-  යෙහෝවා විසින් ක්‍රිස්තුස් ගේ මෑණියන් වන මරියා මැව් නිසා යෙහෝවාමරියා ගේ පියා  වේ. මරියා යෙහොව්වාගේ දුව වේ.  සුද්ධාත්මය මරියාගේ බඩේ පිළිසිද ගත් නිසා යෙහෝවා මරියාගේ පුතාවේ. මරියා යෙහොවාගේ මව් වේ. ක්‍රිස්තුස් මරියාගේ පුතා නිසා යෙහෝවා මරියාගේ පුරුෂයා වේ. මරියා යෙහොවාගේ ස්ත්‍රී වේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එකම මරියා එක වරකට, යෙහොව්වා  ගේ දු ! බවත් එකවරකට යෙහොවාගේ මව්!! බවත්, එකවරකට යෙහොවාගේ ස්ත්‍රී !!! බවත්ය. මෙබදු නින්දිත උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබෙද්දී පටිච්චා සමුප්පාද  ධර්මයට “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” යන උපමාව කීවා කොහෙත්ම හරි නැත. “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය”  කීම හාත්පසින්ම ක්‍රිස්තුස්ගේ උත්පත්තියට කීවා නම් හරිය. එම නිසා මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.

ඉන් පසු මේ පාදිලි තැන ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත්  මනුෂ්‍යයෝ” ය කීවා මේ පිරිසට ඇහෙන්ට ඇත.   ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත්  මනුෂ්‍යයෝ” ය මේ පාදිලි තැන කියනවා මිස මොනයම් ශාස්තරා  ආගමකවත් කියලා නැත. මුන්නහෙගේ මේ කියමන අලුත් කියමනක් ය. “පරලොව ගමන් කරන ආත්මයක් ඇත” කියන මුන්නහෙලාට මේ අන්දමේ ප්‍රලාප නොදොඩා බැරිය. බොරු දෘෂ්ඨිය සවි කරන්ට කියන්ට ඕනෑ බොරුමය  මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ  කියමන් වල තිබෙන නිස්සරකම මෙඉන් දන ගනිත්වා. “මෙලොවින් පිටත්ව පරලොවට ආත්මයක් ගමන් කරනවානම් දිව්‍ය ලෝකයේ සිටින්නේත් මනුෂ්‍යයෝ වෙන්ට ඕනයි” කියා මවිසින් අසු ප්‍රශ්නයට උත්තරයක් දෙන්ට බැරි කම නිසා ” දිව්‍ය ලෝකයේ සිට්න්නෙත්  මනුෂ්‍යයෝ” ය කියා දගලන බව මේ කතාවලින් පෙනේ.
මේ අන්දමේ හැරුණු හැරුණු අතට උත්තර දෙන තමන්ගේම ආගමටත් විරුද්ධවන කියමන් කියන මුන්නහෙලා සමග වාද කරනවාට වඩා නිකන් හිඳීම යුතුය. දිවය ලෝක වල මනුෂ්‍යයෝ නැති බවත්, ඒවායේ ආනුභාව සම්පන්න දෙවියන් වහන්සේලා සිටින බවත් මේ සියල්ලන්ගේ හිත්වල ඇදී තිබෙන ඇත්තක් නිසා   ඒ ගැන වැඩිය යමක් කියන්නට ඕනෑ කරන්නේ නැත.

“ජීවත්වනු ලබනවා ඇත”. යන වචනය “මට තේරෙන්නේ නැත”යි කීවා මිස මේ පාදිලි තැන වත් ඒ ගැන අමුතු තේරුමක් කලේ නැත. ආදම් කරන කොට ගෙන සියල්ලෝම මරණයට  පැමිනේන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන සියල්ලෝම  ජීවත්වනු ලබනවා ඇත” කියා බයිබලයේ තිබේ. ඒ ගැන මීට ඉහත විස්තර කීමි. ඒ නිසා මෙහිදී ඒ ගැන බයිබලය පෙරලන්නේ නැත. මෙලොව ජීවත් වීමට “ජීවත්වනු ලබනවා ඇත” කීවා නම් ක්‍රිස්තුස් ට ගැලවුම් කාරයා යයි කියන්ට ඕනෑ කරන්නේ නැත. ක්‍රිස්තුස් ඇදහීමෙන් පරලොවට වැඩකුත් නැත.

මෙලොවින් පරලොවට ගමන්කරන ආත්මය ඉතා සියුම් එකක් නිසා එකේ ආකාරය කියන්ට බැරිලු. එසේ සියුම් නම් පරලොවට ගමන යන බව දන ගත්තේ කොහොමද? අරුප ලෝකවල උපදින සත්වයන්ගේ චිට්ට ලක්ෂණය කියාදීමට කාලය මදි බැව්” කීව මිස “කියන්ට බැරිය” යි නොකිව්වෙමි.  අරුප ලෝකවල ඉපිදී සිටින බ්‍රහ්මයන්ගේ ආත්මයන් මුන්නහෙලා කියන ලෙස ගමන් යන්නේ නැත. මුන්නේහෙලා එබඳු බ්‍රහ්ම ලෝකවල් ඇත කියා විශ්වාස කරන්නේ නැත. එම නිසා මුන්නහෙලා කියන ආත්මය ඊට සමාන කළා වැරදිය.

අද උදය වරුවේ කතා කල සිරිමාන්න කතිසේරු තැන විසින් බුද්ධාගමේ දොස් දැක්වීම පිණිස කල කතාවක් මේ පාදිලි තැන විසිනුත් ගෙනහැර දැක්වුව. එනම් ” බුදුන් පිරිනිවන් පාලා අවුරුදු 453 කට පසු බුද්ඩාගමේ ධර්මය පොත්වල ලිවුවාය” යන කීමයි. ඒ කියමනට මවිසින් නිසි උත්තර ඒ ළඟ පැයේදී දුන්නා ඇත. ඒ ගැන වැඩිය යමක් නොකියමි. නමුත් “සාමය සංග්‍රහව” කියන පත්‍රයේ 4 වෙනි කලාපයේ ඒ ගැන විස්තර කියමන් තිබේ. එම නිසා ඒ සංග්‍රහව උන්නන්සේලාට බාර දීම ඊට උත්තර වේ. (කියා ඒ සංග්‍රහව ක්‍රිස්තියානු පක්ෂයට භාර දුන්නා ඇත)

තවද මේ පාදිලි තැන මෝසෙස් ගේ උත්තම කම හැගාවන්ට උත්සාහ කළා. ඒ උත්සාහය ස්ථිර කරන්ට අතිශයින්ම බැරිය. මක් නිසාද මෝසෙස් මිනී  මරා රට හැර ගිය තක්කඩි යෙක්ය  . “ඔහු යෙහෝවා භාරගත්තාට පසු එලෙස තක්කඩිකම් කෙළේ නැතයිකියා මේ පාදිලි තැන කී නමුත් බයිබලයේ නික්මයාම පොත කියවා බලන කාට නමුත් පෙනෙන්ට තිබෙන්නේ මෝසෙස් මැරෙන තුරුම මිනී මැරූ බවය. එබැවින් මෝසෙස් කොයි කාලයකටවත් ධර්මිස්ට පුද්ගලයෙක් ණෝවේන බව මේ සියල්ලන්ම  තේරුම් ගනිත්වා. මෝසෙස්  වැනි මිනී මරුවෙක් විසින් ලියන ලද “බයිබලය සැබෑවූ පොතක්ය ඒ පොතේ කියමන් කියමන් විශ්වාස කොට පරලොව ගැලවෙන්ට පුළුවනැයි” සිතීම වැලි මිරිකා තෙල් ගන්ට කරන උත්සාහයක් වැනිය. මේ ආදී අනත කාරණාවලින් ක්‍රිස්තියානි ආගම සබැ ආගමක් නොවන බව ඔප්පු වේ. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතු.

“අංගුලිමාල තෙරුන් වහන්සේ මිනී මරුවෙකැයි මේ පාදිලි තැන කීවා. ඒ කීම හාත්පසින්ම බොරුය.  අංගුලිමාල තෙරුන් වහන්සේ  කිසි කලෙක මිනිහෙක් මැරීම තබා කුහුබුවෙක් පමණවත් මැරුවේ නැත. එබන්දල් මේ පාදිලි තැනට බුද්ධාගමේ පොතකින් පෙන්වන්ට බැරිය. “අංගුලිමාල තෙරුන් වහන්සේ “ය යන නාමය උන්නාන්සේට ලැබුනේ මහණව රහත් වූවායින් පසුවය බුද්ධගන් කාරයෝ වැදුම් පිදුම් පවත්වන්නේ එම රහතන් වහන්සේටය. මහණව රහත් වෙන්ට මත්තෙන් වැරදි කලේ ඒ රහතන් වහන්සේ නොවේය. ඒ වැරදි කලේ පෘතග්ජන පුත්ගලයෙක්ය. ඒ පුද්ගලයා උත්තමයෙකි අපි කියන්නේ නැත. ‘අංගුලිමාල’ නම් කෙලෙස් සහිත ගෘහස්ත පුද්ගලයෙක් සිටියා සත්තකය. ඒ පුද්ගලයා කල වැරදි ආර්ය පුද්ගලයෙක් පිටට හෙලන්ට උත්සාහ කලාට එක පුළුවන් වැඩක් නොවේය. අරහන්තික ආලවක ගැනත් දෙන උත්තරය එලෙසමය. එම නිසා ඒ ගැන මගේ කාලය මිඩංගු කරන්නේ නැත.

තවද මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දානාද්‍යාසයට නින්දා කරනු කැමතිව  කතාවක් කලා ය. අද උදය වරුවේ සිරිමාන්න කතිසේරු තැන කළ කතාවත් මේ කතාවමය. එම නිසා සිරිමාන්න කතිසේරු තැනගේ එම කතාවට  මවිසින් දුන් උත්තරම මේ කතාවට උත්තර වේ. එබැවින් මේ පාදිලි තැන වෙස්සන්තර රජ්ජුරුවෝ ගැන කේ කතාවට උත්තර ඒවම බව සැලකිය යුතු නමුත් මේ පාදිලි තැන “තේරී අපදාන” හි තිබෙන ගාථා කැබලි කීපයක් කීව එනම් ” නෙක කොටි සහස්සානං හරියත්තාය දායිමන්”   යනාදියය. මේ ගාථා කැබලි කීවේ බෝධි සත්වයෝ තමන්ගේ ස්ත්‍රී අඹු කමට අනුන්ට පාවා දුන් බව ඔප්පු කරන්ටය.   ඒ ගතාවලින් එබන්දක් ඔප්පු වෙන්නේ නැත. මක් නිසාද  වෙස්සන්තර රජ ශක්‍ර බ්‍රාහ්මණයා ට මන්ත්‍රී දෙවි පාවා දුන්නාය. සත්තකය. ඒ දීමට “හරියත්තාය දායිමන්” නොකියා බැරිය. නමුත් ඒ බ්‍රාහ්මණයා මන්ත්‍රී දේවි අඹු කමට ගත්තේ නැත. එම වෙස්සන්තර රජ්ජුරුවන්ටම එම ක්ෂනයේදීම ආපසු භාර දී ගිය බව වෙස්සන්තර ජාතකයෙහි පෙනේ.    එම නිසා ඒ ගතා පදවලින් එබන්දක් ඔප්පු ණෝවේ. ” බෝධි සත්වයෝ තමන්ගේ  ස්ත්‍රී අඹු කමට දුන්නාය කියා ඔප්පු කරන්ට නම් එසේ දීපු කාලයේදී ස්ත්‍රී කොට තබා ගෙන උන් තැනක් පොතකින්පෙන්වන්ට ඕනෑය. එසේ පෙන්වන්ට මේ පාදිලි තැනගේ සමර්තකම මදිය. මේ ගැන  උත්තර  මෙපමණ සැහෙන නිසා මෙපමණකින් නවතිමි.

තවද මේ පාදිලි තැන “අගතා ගතානං” යනාදී පාලි වාසගම් කැබැල්ලක් කීවාය ඒ වාසගම බුද්ධ දේශනාවය කියලාත් බොහොම උඩ පැන්නාය. එබඳු පාලි වාසගම් කැබැල්ලක් බුද්ධ දේශනාව තුල කොතනකවත් ඇත්තේ නැත. එසේ ඇතුවානම් දේශනා පොතකින් පෙන්විය යුතුය. ඒ පෙන්වන්ට බැරුවා සත්තකය. බෝධි සත්වයෝ දන් පිණිස  ඇස්, ඉස්, මස්, ලේ, අඹු දරුවන් දුන්නා සත්තකය. බුද්ධත්වය ලෝකෝත්තර පදවියක් නිසා එබඳු ආශ්චර්යමත් දානාද්‍යාසයක් ඇති කෙනෙකුට මිස නැති කෙනෙකුන්ට ලබන්ට බැරිය. මේ ගැනත් මීට ඉහත මවිසින් කාරනා පෙන්වා දුන් නිසා මීට වැඩිය යමක් කියන්ට ඕනෑ කරන්නේ නැත.
තවද මේ පාදිලි තැන බුදු රජාණන් වහන්සේට නින්දා කිරීම සඳහා පරන්තප ජාතකය, සුසන්දිය ජාතකය යන ජාතක දෙක ගැන හැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්ට ඇත. එයින්
බුදු රජාණන් වහන්සේට වත්, බුද්ධාගම ට වත් කිසි අපහාසයක් නැත. මකිනිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරනවා සත්තකය.  කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කලාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් කිසි අපහාසයක් නැත. . “බෝධි සම්භාර පුරන බෝධිසත්වයන් වහන්සේලා වැරදි කරන්නේ නැත” කියා අපි කියන්නේ නැත. බුදු උනායින් පසු උන් වහන්සේ කිසි වරදක් කෙළේ නැත. බුද්ධාගම් කාරයින් වන අපි සරණ යන්නේ, අදහන්නේ, වදින්නේ, පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණ යාමක් අපේ නැත. එම නිසා බෝධිසත්වයෝ කළ දෝෂයක් ගෙන හැර දැක්වීම නිෂ්ඵලය. තවද, “බුද්ධන්කුර” කියන්නේ පැල වේගන  යන බුදුන්ය කියා මේ පාදිලි තැන කීව මේ කාටත් ඇසෙන්ට ඇත එබදු අර්ථයක් “බුද්ධන්කුර”යන වචනයට කියන්ට බැරිය. මේ පාදිලි තැනගේ නුගත්කම නිසා ඔය අන්දමේ ප්‍රලාප දෙඩෙව්වා මිස උගතෙක් නම් දොඩන්නේ නැතුවා සත්තකය.
තවද “බුදුන්ට සර්වඥතා ඥානයක් තබා ළමයෙකුට ඇති නුවනක්වත් නැත” කියා මේ පාදිලි තැන, ඒ බව පෙන්වන්ට “සිනෙරු භික්කවේ පබ්බත රාජා” යනාදී පාඨයක් ගෙන හැර දැක්වූවා. ඒ  පාඨය  ගෙන හැර දැක්වුවේ “මහමෙරු පර්වතය කියා පර්වතයක් ඇති බුදුන්ගේ දේශනාවේ තිබෙනවාය” යයි පෙන්වන්ටය. මහා මේර නැති බව පෙන්වන්ට මේ පාදිලි තැන ඉදිරියට ගෙනාවේ ඉංග්‍රීසි භුමි ශාස්ත්‍රයය.  ඒ භුමි ශාස්ත්‍රය ඉපදෙව්වේ සර් ඓසැක්  නිව්ටන් යන ඉංග්‍රීසි පණ්ඩිත යාය. ඒ පණ්ඩිතය ඉපදෙව් භුමි ශාස්ත්‍රය ට විරුද්ධව ආර් ජේ මොරිසන් කියන ඉංග්‍රීසි පණ්ඩිත යා පොතක් ලියා තිබේ. ඒ පොත දැනට මා ලග තිබේ. ඒ පොතේ කියා තිබෙන කියමන්වල හැටියට නිව්ටන් ගේ  භුමි ශාස්ත්‍රය බොරු බව ඔප්පු වේ. මේ පාදිලිතන සරණ කොටගත් නිව්ටන් ගේ  භුමි ශාස්ත්‍රය අන්දමට රැදවල් වන්නේ පොලොව කරකවීමෙන්ය. නමුත් මොරිසන් ගේ කියමන්වල හැටියට ඉර ගමන් කරන බවත් පොලොව නිශ්චලව තිබෙන බවත් පෙනේ. ඉංගිසි පණ්ඩිතයන් අතර පවා මෙලෙස එක්සත් කමක් නැතුව වාද විවාදව තිබෙන භුමි ශාස්ත්‍රය කින් බුද්ධ ධර්මය බොරු කරන්න ආ එක කොපමණ ලාමකද?

මේ පාදිලි තැන බෝලයක් දික් කළ බව කාටත් පෙනෙන්ට ඇත. ඒ පෙන්නුවේ නිව්ටන් ඉපදෙව් භුමි සාස්ත්‍රයේ  අන්දමට සදාපු බෝලයක්ය. ඒ බෝලය ඉතා ඉක්මනින් විසි කරමි. හේ කෙසේද:- මොරිසන් කියන්නෙත් ඉංග්‍රීසි පණ්ඩිත යෙක්ය  . ඔහු පොලව කර නොකවෙන බවට අනන්ත සාක්ෂි දීල තිබෙනවාය. (ඒවා ගැනීමට ක්‍රිස්තියානු පක්ෂයට ඒ පොත භාර දුන්නාය) එයින් ඉහතපෙන්නු බෝලය විසි උනා සත්තකය. තවද මේ පාදිලි තැන පෙන්වා හිටිය භුමි සාස්ත්‍රය ගැන  ඉංග්‍රීසි පණ්ඩිතයන අතරේද “සුර්ය සිද්ධාන්ත” ආදී පොත් කළ සංස්කෘත පණ්ඩිත යන අතරේද කිසි කලෙක නිශ්චයකට පමිලිලා නැත. ඉංග්‍රීසි  පණ්ඩිතයන් නිතරම භුමි සාස්ත්‍රය ගැන වාද විවාද කරති. මේ අන්දමින් නිස්චයකට නොපැමිණ තිබෙන අවලංගු සාශ්ත්‍රය කින් කාරනා පෙන්වා බුද්ධ ධර්මය බොරු කරන්ට ආ එක මහත් විහිලුවක්ය. මේ පාදිලි තැනගේ බෝලයද විසි විය. තවද “මහමෙර” කියා විශාල පර්වතයක් උතුරු දිසාවේ තිබෙන බවට වැදගත් සාක්ෂි තිබේ. එනම් කොම්පාස් එකය.     එම කොම්පාස්  එකේ කාන්දම් බැදී කොන නිතරම උතුරටම හැරී සිටී. වෙන දිසාවකට ඒ කටුව කොයි කලෙක වත් හැරී සිටින්නේ නැත. එයින් කාන්දම අදින වස්තුවක් උතුරු දිසාවේ තිබෙන බව ඔප්පු වේ.

ඒ වස්තුව නම් අපි කියන්නේ මහා මෙරය. මගේ මේ කියමන බිද හෙලන්ට කිසිවෙකුටත්  බැරුවා සත්තකය. එම නිසා මහාමේර ඇති බව මෙයින් ඔප්පු වේ.  තවද කොම්පාස් කටුවේ කාන්දම බැදී කොන උතුරට අදින්නේ මේ නිසාය කියා කොයියම් ඉංගිරිසි පණ්ඩිතයෙක් වත් සොයලා තිබෙනවාද.? සොයලා තිබෙනවා නම් කියන්ට හොඳා.
ඒ ගැන යමක් මේ හිටින කිසිවෙකුන්ට කියන්ට බැරුවා සත්තකය. මහාමේර සමාන විශාල පර්වතයක් ලෝකයේ වෙන නැත්තේය. එම නිසා ඒ පර්වතය තිබෙන දිසාවට කාන්දම් කටුව අදින්නේය. තවද ලෝකයේ වට මහතා හැතැප්ම විසි පන්දාහක් බවද මහමෙර ජලයෙන් උඩට අසු හාර දාහක් තිබෙන බවද කියා එපමණ ලොකු පර්වතයක් මෙපමණ පුංචි ලෝකයක තිබෙන්ට බැරි බව ඔප්පු කරන්ටත් මේ පාදිලි තැන උත්සාහ කළා. ඒ උත්සාහය ඉතා නිෂ්ඵලයි.
මක්නිසාද ලෝකයේ ප්‍රමාණය කියා දුන්නෙත් නිව්ටන් ගේ ශාස්ත්‍රයේ හැටියටයි. වෙන ඉංගිරිසි පණ්ඩිත යන් දොස්කියන  අස්ථිර ශාස්ත්‍රයෙන් ගෙන හැර පා      ලෝකයේ ප්‍රමාණය ඒත්තු ගන්නට බැරිය. මේ හැර දඹදිව පණ්ඩිතයන් අතරේ යොදුන්වල ප්‍රමාණය ගැන නා නා මත තිබේ. ඒ නිසා බුද්ධාගමේ පොත්වල පෙන යොදුන් ප්‍රමාණය එයින් කොයි ප්‍රමාණයට එකතු දැයි මේ පාදිලි තැන දන්නවාද? ඉතින් මහමෙර ගැන 
මේ පාදිලි තැන කල කතාවට දිය යුතු උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවතිමි. නමුත් මහමෙරක් ඇති බවට මවිසින් ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන ස්ථිර කමත්, මේ පාදිලි තැන මහමෙරක් නැති බවට ගෙන හැර දැක්වූ කාරනාවල තිබෙන අස්තිරකමත් එපමණින් මේ සමුහයාට වැටහෙන්නට ඇත කියා සිතමි.

මේ ලඟට මේ පාදිලි තැනකතාකලේ  මාතර දිසාවේ උන්නාන්සේ කෙනෙකුන්ට ඇල්ලු පිස්සුවක් ගැනය. උන්නාන්සේ කෙනෙකුට ලෙඩක් ඇල්ලීම බුද්ධාගමට නින්දාවක් නොවේ. බුද්ධාගමේ තිබෙන භාවනා ක්‍රමය නොදැන දුස්සීලව හිටගෙන භාවනාවේ යෙදෙන අයට පිස්සු අල්ලන බව බුද්ධාගමේ පොත්වල තිබේ. ඒ නිසා එයින් බුද්ධාගමට කිසි පලුදුවක් නැත. තවද මේ පාදිලි තැන බුදුන් ජීවත්ව සිටිය කාලයේ හිටිය පාපිෂ්ට භික්ෂුන් කල වැරදි කීවා, පාපිෂ්ට පුත්ගලයන් වැරදි කරන්නේ නැත කියා අපි කියන්නේ නැත. මේ කාලයේද එසේම වැරදි කරන භික්ෂුන් හිටිනවා සත්තකය. එයින් බුද්ධාගමට කිසි දෝෂයක් ඇත්තේ නැත. ශික්ෂා පද පැනව්වයින් පසු වැරදි කල භික්ෂුන් බුදුන් විසින් නියම කල දඬුවම් වලට යටත්වා මිස ශික්ෂා පද පනවන්ට මත්තෙන්  වැරදි කල භික්ෂුන්ට දඬුවමක් පනවා ඇත්තේ නැත. යම් රජ කෙනෙක් ආඥාවක් පැනෙව්වොත්ඒ ආඥාව කඩකළ ඇත්තන්ට දඬුවම් කරනවා මිස ආඥාව ට ප්‍රථම ඒ ක්‍රියාවට යමෙකුට දඬුවම් දෙන සිරිතක් ඇත්තේ නැත. එමෙන්ම විනය ධර්මයෙහි ආදී කාර්මිකයාට  දඬුවමක් නියම කල බවක් පෙනෙන්නට නැත. වැරදි කල භික්ෂුන්ට අච්චු දුන්නේ නැත කියා මේ පාදිලි තැන කීවේ මේ කාරනාව තේරුම් ගන්ට බැරි අඥාන කමින්ය. අසවල් භික්ෂුව අසවල් වැරැද්ද කළාය. ඒ ගැන මෙනම් අච්චුව නියම කළාය යනාදී වශයෙන් ඒ ඒ වැරදි කල භික්ෂුන්ගේ නම්ද, ඒවා ගැන නියම කල ශික්ෂා පදද, විනයෙහි පැහැදිලිව පෙනේ. එසේ තිබීමෙන් බුද්ධ ධර්මයෙහි තිබෙන නිර්මලකම ඔප්පු වෙයි. මේ පාදිලි තැන එබඳු නිර්මල විනය ධර්මයෙහි දොස් දැක්වීම පිණිස ඒවා ප්‍රකාශ කලාට එයින් බුද්ධාගමට කිසිම කිළුටක් නැත. දරු ගැබක් හෙලන්ට උපක්‍රම යෙදු පාපිෂ්ට ශ්‍රමණයෙක් ශාසනයෙන් තුරන්කළ බව විනයෙහි පෙනේ. ඒ ශ්‍රමනයාට “දුෂ්කට  ආපත්තිය” ක් නියම කළායයි මේ පාදිලි තැන බොරුවක් කීවා සත්තකය. බුද්ධ ධර්මයේ නැති කරුණු ඇතැයි කියාද ඇති කරුණු නැතැයි  කියාද මිත්‍යා වචන කියන්නේ මේ පාදිලි තැනගේ තිබෙන නුගත්කම නිසාමය.

“චුන්ද නම් තාපසයෙක් බුදුන්ට සුකර මාංශයක් දුන්න බවක් “මේ පාදිලි තැන කීවා. එබන්දක් බන පොතක ඇත්තේ නැත. චුන්ද නම් කර්මාර පුත්‍රයාය කියා කෙනෙක් බුදුන් පිරිනිවන් පාන දවසේ සුකර මද්දවයක් සහිත දානයක් දුන්න බව බන පොත්වල පෙනේ. එම දානය වැළඳු නිසා ඒ ආබාධ බුදුන්ට වැළඳුනා නොවේ. ඒ දානය ඒ දවසේ වැළඳුවේ නැතත් බුදු රජාණන් වහන්සේගේ  පිරිනිවීම ඒ දවසේ වෙනවා සත්තකය. බුදුන් පිරිනිවන් පැදවසේ වැළඳු දානය කීවා මිස ඒ දානය නිසා බුදු රජාණන් වහන්සේට ඒ ආබාධය සැදුනු බවක් පෙන්වන්ට කීවා නොවේය. ඒ දවසේ වෙන දෙයක් වැළඳුවත්  එත් ඔය අන්දමටම කියනවා ඇත. එම නිසා මේ ගැන වැඩිය කාරණා කියන්ට ඕනෑ නොකරමි. මේ පාදිලි තැන විසින් බුද්ධාගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරණාවලට උත්තර මෙපමණ සැහෙන නිසා මෙයින් නවතිමි.

අද උදය වරුවේ කතාකල කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලින් උත්තර නොදී තුනක්ඉතුරුව තිබේ. එනම් තුන් සරණය ගැනද, උපසම්පදාව ගැනද, ආලාර කාලාම උද්දක රාමපුත්ත යන දෙදෙනා ගැනද, කල කතා තුනය. ඒ ගැන කීවේ බුදුන් ජීවත්ව නැති නිසා ඒ බුදුන්ගේ සරණ යාමෙන් පලක් නැතිලු. බුදුන්ගේ මරණය ගැන මේ කතිසේරු තැන යමක් නොදන්නා බව මොහුගේ කතාවෙන්ම පෙනේ.

හේ කෙසේද :- බුදුන්ගේ මරණය කාල තුනකට වේ. එයින් පළමුවෙනි මරණය නම් ක්ලේශ පරිනිර්වාණයයි. දෙවෙනි මරණය නම් ස්කන්ධ පරිනිර්වාණයයි. තුන්වෙනි මරණය නම් ධාතු පරිනිර්වාණයයි. එයින් පමුවෙනි මරණය වූ ක්ලේශ පරිනිර්වාණය  බුදු වූ දවසේ බෝධි මුලයේදී වුයේය.එනම් සියලු කෙලෙස් නසා සර්වඥ තාවට පැමිණීමය. ස්කන්ධ පරිනිර්වාණය මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදීම වුයේය. එනම් පංචස්කන්ධය නිරිද්ධ වීමෙන් නිවනට පැමිණීමය. ධාතු පරිනිර්වාණය බුදුන් පිරිනිවී තැන පටන් අවුරුදු පන් දාහක් ගිය තැන බුදුන්ගේ සියලු ධාතු දඹදිව ජය ශ්‍රී බෝධි දෘම මුලයට පැමිණ එයින් ජීවමාන බුදුන්ගේ බුද්ධ රුපයක් නිර්මිතව ස්වල්ප කාලයක් දෙවියන්ට බන කියා ඉන්පසු ධාතු ආදාහනය වීමය. ඒ ධාතු ආදාහනය වීමට තවත් අවුරුදු දෙදාස් පන්සීය ගණනක් තිබේ.
ඒ කාලය යනතුරු බුදුන්ගේ ධාතු තිබෙන නිසා බුදුන්ගේ පිරිනිවීමේ සම්පුර්ණ තීන්දුව වෙනස්වන්නේ නැත. එම නිසා බුදුන්ගේ පැවැත්ම දැනට ලෝකයේ නැතැයි කය මේ කතිසේරු තැන කීවා වැරදිය.  සර්දාව ඇති අයට ජීවමාන බුදුන්ට වැඳ පුදා  ලබන ආනිසංස සධාතුක චයිත්‍යාදියට වැඳ පුදාලාත් ලබාගන්ට පුළුවන. තවද බුදුන්ගේ ගුණ ශරීරය සිහිකරන්ට පුළුවන් අය යම් පමණ කාලයක් ඇතුව සිටිනවා නම් එපමණ කල් බුදු
සරණ නැතිවෙන්නේ නැත.

ධර්මයේ සරණ යනවා කියන්නේ බන පොත්වල සරණ යාම නොවේ. ධර්මය කියන්නේ බුදුන් වදාළ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයටය. ඒ ධර්මය බුදුන්ටත් ගුරුන් වේ. ඒ ධර්මය යමෙක් විශ්වාස කරනවා නම් එලෙස පිළිපදිනවා නම්, එයින් පරලොව ගැලවීම ලැබේ. ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා!  ධර්මයේ සරණ යාමේ අදහස මෙයින් තේරුම් ගනිත්වා!  සංඝං සරණා ගච්චාමි යන පදයට ඇතුලත් වෙන්නේ දැන් සිටින සංඝයා නොවේ. සංඝයා වනාහී  ආර්‍ය ය සංඝයාය සම්මුති    සංඝයාය කියා කොටස් දෙකක් වේ. එයින් ආර්‍ය ය සංඝයා කියන්නේ සතර මග සතර ඵලයට පැමිණි අශ්ටාචාර්ය පුද්ගල  සංඝයාය. සම්මුති    සංඝයාය කියන්නේ චතුර්විද විනය කර්මයට ඇතුලත් උපසම්පදා සංඝයාය. මෙකී ද්විප්‍රකාර සංඝයා අතුරෙන් ආර්‍ය සංඝයා සරණා ගැනීමට ඇතුලත් වේ. එබඳු උත්තමයන් විශ්වාස  කිරීමෙන්ද,  උන්වහන්සේලාට වන්දනා මාන ආදිය කිරීමෙන්ද, අනන්ත පින් ලැබේ. සංඝයාගේ සරණ යාමේ අදහස මෙයින් දැන ගනිත්වා.

තවද මේ කතිසේරු තැන සියම්, අමරපුර, යන සමාගම් දෙකේ සංඝයාට දොස් කීම ගැන, ‘ලක් රිවිකිරණ’ පත්‍ර මාර්ගයෙන් කරන ලද උපසම්පදා වාදය ගෙන හැර දැක්වූවාය. ඒ වාදයට සියම්, අමරපුර, යන සමාගම් දෙකේ හිටින වැදගත් සංඝයා වහන්සේලා බැඳී නැත. ඒ වාදයෙන්, එයට බැඳී හිටින දෙදෙනාගේ මොකක්දෝ අදහසක් ඉෂ්ට කර ගැනීමට, හරි නම් වලින් ඉදිරියට නෑවිත්, සැඟවිලා හිටගෙන කරන මිත්‍යා වාදයක් බව පෙනේ. සර්වප්‍රකාරයෙන්ම ඒ බව ඔප්පු කරන්ට පුළුවන. එම නිසා ඒ වාදය කිරීමෙන්, අපේ මෙම සමාගම් දෙකේ සංඝයාට කිසිම කිළුටක් නැත. එබැවින් ඒ ගැන කරන කතාවද මෙයින් නවත්වමි.

ආලාර කාලම, උද්දකරාම යන දෙදෙනා ගැන මේ කතිසේරු තැන කල කතාවට නිසි උත්තර මීට ප්‍රථම අපි දෙපක්ෂය අතරේ  කල බද්දේගම වාදයේද, වෙනත් වාද වලදීද දීලා ඇත.  ඒ ගැන අච්චු ගහපු පොත් පවා දැනට මා ළඟ තිබේ. එයින් පොතක් ක්‍රිස්තියානි ආගමට භාර දීම ඊට උත්තර වේය. නමුත් මට ලැබී  තිබෙන පැය තව ඉකුත් නොවූ බැවින් ඒ ගැන මදක් කාරණා කියමි.

බුදුන්ට නිතර පේන ඥානයක්  ඇත්තේ නැත. උන්වහසේගේ සර්වඥතා ඥානය අවර්ජනාව පිලිබඳවය. එනම් උන්වහන්සේට යමක් බලන්ට ඔනෑ වූ විටක දීව්‍ය ඥානය නමැති ඇස ඈර  බැලීමය. එසේ බැලූ කල්හි ඒ සියල්ල පේනවාය. මේ මනුස්‍යයන්ගේ ඇස් වලට නමුත් යමක් පෙනෙන්නේ ඇස් ඇර බැලුවාමය.  ඇස ඇර නොබැලු  යමක් නොදුටුවාම ඇස් තිබෙන කෙනෙකුන්ට ඇස් නැත කීම වැරදිය. ආලාර කාලාම උද්දක රාම යන තවුසන් දෙදෙනාට බන කියන්ට බුදුන් කල්පනා කළා මිස දිව්‍ය ඥාන නමැති ඇස ඇර බැලුවේ නැත. එකල ඒ දෙදෙනා මැරිලා බව දේවතාවෙක් විසින් කීවාය. ඉන්පසු දිව්‍ය ඥානයෙන් බලා ඒ දෙදෙනා  උපන් තැන පවා දැනගත් බව බුද්ධ දේශනාවේ තිබේ. ඒ දෙදෙනාට බන කියන්ට බුදුන් සිතුවේ ඔවුන් ආශ්‍රය කරලා අඳුනන නිසාය. නිතර සියල්ල පෙනී පෙනී තිබෙන ඥානයක් යමෙකුන්ට ඇතුවා නම් ඒ ඇත්තාට නරකාදී දුකක් හා සමාන වේය. එබඳු ඥානයක් බුදුන්ට නැත. “යෙහොවාට එබඳු ඥානයක් තිබෙනවාය” යි ක්‍රිස්තියානි කාරයෝ කියති. එබඳු නිතර පෙනෙන ඥානයක් යෙහොවාට තිබෙන නිසා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතරේ පවතින ඇහැට දකින්ට අප්‍රිය වූ මල මුත්‍රා කිරීම් ආදී නින්දිත දේ පෙනී පෙනී ඉන්නවා සත්තකය. එසේ නින්දිත දේ පෙනී පෙනී ඉන්න යෙහොවාට ඇති දුක, නරකාදී  දුකක් හා සමානය. බුදු රජානන්වහන්සේට එබඳු දුකක් ඇත්තේ නැත. මක්නිසාද නිතර සියල්ල පේන ඥානයක් උන්වහන්සේට නැති නිසාය. සර්වඥතා ඥානය ආවර්ජනාව පිළිබදවය. යෙහොවාගේ නිතර පේන ඥානය අවාසනාවත ඥානයක් බවත් ආවර්ජනාව සහිත බුදුන්ගේ ඥානය වාසනාවන්ත ඥානයක් බවත් මෙයින් ඔප්පු වේ. ආලාරකාලාම උද්දකරාම යන දෙදෙනා ගැන අසු ප්‍රශ්නවලට මේ උත්තර ඕනෑවටත් වැඩි නිසා මෙයින් නවතිමි. .
මිත්‍ර වරුනි, මට කතා කරන්ට බලේ තිබෙන පැයෙන් තව ස්වල්ප කාලයක් ඉතිරිව තිබේ. ඒ කාලය තුල ක්‍රිස්තියානි ආගමේ තත්වය පෙන්වීම පිණිස මදක් කාරණා කියමි. ඒ යහපත්ව ඇසිය යුතු.
ක්‍රිස්තියානි කාරයෝ  මැවුන්කාරයා කව්ද කියා අඳුනන්නේ නැත. ඒ බවට සාක්ෂි බයිබලයෙන්ම මට පෙන්වන්ට පුළුවන. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිතුව ජාල මතුහෙහි හැසිරුණේය” කියා බයිබලයෙහි මුලම තිබේ. ඒ වචන ලිව්වාවූ බයිබල් කාරයාත් එපමණ මෝඩයෙක් නොවේය. මක්නිසාද ඉස්පිරිතුව ජල මතුයෙහි හැසිරෙන්නේ නැතුව යමක් හටගන්නට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්ට හෙවත් මැවෙන්ට බැරි නිසාය. ඒ බව හොඳට වැටහෙන්නට වැදගත් සාක්ෂියක් පෙන්වමි.

මේ පොල් ගස්වල තිබෙන පොල්ගෙඩි මාස දොළහක් පමණ ගහේ තිබෙනවාය. ඒ ගෙඩියේ වතුර තිබෙන නමුත් ඒ වතුරේ පනුවෝ නැත එම පොල් ගෙඩිය හිල් කරලා කීප දවසක් තිබෙන්ට ඇරියොත් 
එහි පනුවෝ උපදිනවා සත්තකය.   පොල් ගෙඩිය හිල් කරන්ට මත්තෙන් පනුවෝ නුපදන්නෙත් හිල් කළායින්   පසු පනුවෝ උපදින්නේත් මක්නිසාද කියා කල්පනා කටයුතු. කොපමණ කාලයක් නමුත් හුළඟ නොවදින්නට වතුර තිබෙන්නට පුළුවන් නම් පනුවෙක්වත් එවෙන මොනයම් සතෙක්වත් එහි හට ගන්නේ නැත. හුළඟ වදින ලෙස ටික දවසක් වතුර යක් තැනක තිබුනොත් එහි පනුවෝ හටගනී. මක් නිසාද වායෝ, තේජෝ, ආපෝ, යන ධාතු තුන එකට සංසර්ගය වන නිසාය. “දෙවියන් වහන්සේගේ ඉස්පිරිත්තුව ජල මතුයෙහි හැසිරුනාය” කියා බයිබල් කාරයා ලීවේ යමක් හට ගැනීමට ඕනෑ කරන්නාවූ හේතුව පෙන්වීම පිණිස බව කොහෙත්ම සැක නැත. “වායෝ තේජෝ ආපෝ ” කියන  හුලන්ගත්, ගිනිත්, වතුරත් යන ධාතු ත්‍රය නිසා සියල්ල හට ගන්නවා සත්තකය. එම නිසා මෙම ධාතු තුන මැවුන් කාරයෝ වේය. මේ ධාතුන්ගේ ආධාරය  නැතුව ලෝකයේ කිසි දෙයක් පවතින්නට බැරිය.  එබැවින් සියල්ල රක්ෂා කරන්නාවූ ආරක්ෂා කාරයොත් මේ ධාතු ම වේය  තවද මේ කියන ලද ධාතු ත්‍රය  සියලු තැනම පැතිරී තිබේ. එම නිසා “සියලු තැන පිරී වැඩ සිටිනවාය” කීවාටත් කොහෙත් වැරද්දක් නැත. තවද මේ ධාතුත්‍රයට පටන් ගැනීමක් හෝ අන්තිමයක් නැති නිසා නිතරම එකාබද්ධව පවතී. එම නිසා මේ තුන් දෙනාට “එක කෙනාය” කීවාටත් වරදක් නැත. මේකියන ලද ධාතු තුනට “පිතා පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා අමුතු නම් තුනක් දමා ගෙන “එකම දෙවියෝය” යි කියා ක්‍රිස්තියානු ආගමේ උපදවා තිබේ. මේ ධාතු තරයට “බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර” කියා හෝ “පිතා, පුත්‍ර, ඉස්පිරිතු සාන්තු” කියා  කොයි නාමයක් ව්‍යාවහාර කලත් මැවුන්කාරයෝ නම් මුන් වහන්සේලා තුන් දෙනාමය. වෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත්තේ නැත.

තවද බයිබලයේ කියා තිබෙන තහනම් ගසත් ඒ ගහේ ගෙඩි කෑමත් ඒ ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයාත් ඒ ගෙඩි කැ වැරැද්දට දුන් අච්චුවත් මොකද කියා  ක්‍රිස්තියානි කාරයෝ පවා දන්නේ නැත. දන්නවා නම් “සියලු මනුෂ්‍යයන් මවන්නේ දෙවියෝය” කියා විශ්වාස කරන්නේ නැත. තහනම් ගහත් ගෙඩි කෑමත්, සර්පයාත් යන මේ ආදිය තේරුම් ගන්ට බැරි කමෙන් “මනුෂ්‍යන් මවන්ට දෙවි කෙනෙක් ඇත” කියා විශ්වාස කරති. එම නිසා ඒ ගැන මඳක් කාරණා කියමි. ඒ මනාකොට ඇසිය යුතු.
තහනම් ගහනම් ආදම්ය. ගෙඩි කෑමට උපක්‍රම යෙදු සර්පයා නම් ඒවාගේ හිතේ පවතී රාග සිතය. ගෙඩි කෑවාය කීවේ නම් ඒ දෙදෙනාගේ එකතුවීමටය.  මගේ මේ අභිප්‍රාව මෙලෙසම බවට තිබෙන වැදගත් සාක්ෂිය නම් ඒවා ගෙඩි
කෑ වැරැද්දට ඇට ලැබුණු අච්චුවය. ඒ අච්චු නම් “ගර්භ දැරීමේ දුකත්, දුකින් දරුවන් වැදීමත්, ඒවාට සහ අයගෙන් පැවතෙන සියලු ස්ත්‍රීන්ට ලැබුණාය” කියා බයිබලයේ  ලියා තිබීමයි. දැනට නමුත් ඔය ගෙඩිය කෑමෙන් ස්ත්‍රීන්ට ලැබෙන්නේ ගර්භිනීවීමත්, දුකින් දරුවන් වැදීමත්ය යන දෙක පමණි. මුලින් බයිබලය ලිව් තැනැත්තා මේ සියලු මනුෂ්‍යයන් දෙදෙනෙකුගෙන් පැවත එනවාය කියා සිතාගෙන මුලට “ආදම්, ඒවා” කියා දෙන්නෙක් නියම කොට ඒ දෙදෙනාගේ සංසර්ගයෙන් බෝවිල්ල වන බව හඟවන්නට ලිව් ලියවිල්ලක් බව නැවතත් ලෝකයාට තේරුම් ගන්ට පුළුවන. එසේ නොවේ නම් තහනම් ගහේ ගෙඩි කෑවාට ,  ගර්භ දැරීමත්, දුකින් දරුවන් වැදීමත්,, නියම කරන්ට කොහෙත් ඕනෑ කරන්නේ නැත. පුහුල් හොරා කරෙන්ම අඳුනන්ට පුළුවන් වාගේම ඒවාට දුන් අච්චුවෙන්ම, තහනම් ගහත්, සර්පයාත්, ගෙඩි කෑමත් මොකද කියා නැණවත් යට තේරුම් ගන්ට පුළුවන. මනුෂ්‍ය යන්ගේ බෝවිල්ල පෙන්වීම පිණිස බයිබලයේ තිබෙන උපමා කතාව තේරුම් නොගෙන මැවුන්කාර දෙවි කෙනෙක් ඇත කියා ක්‍රිස්තියානි කාරයෝ මුලාව සිටිති. ඒ මුලාවෙන් දුරුවීම පිණිස මින් ඉහත දැක්වූ කාරනා ඉතා ප්‍රයෝජනවත් වේය.
මේ ආදී  කාරණා වලින් ක්‍රිස්තියානි ආගම සැබෑ ආගමක් නොවන බවත් පරලොව ගැලවීම පිණිස විශ්වාස කරන්ට යුතු නැති බවත් මෙහි රැස්ව සිටින සමුහයා විසින් තේරුම් ගනිත්වා.

තවද  මට  කථා  කරන්ට  ලැබී  තිබෙන අන්තිම පැය තවම කෙලවර උනේ නැත. තව ස්වල්ප කාලයක් කථා කරන්ට මට බලය තිබේ. ඒ කාලය තුල තුන්ලෝකාග්‍රවු බුදුරජානන් වහන්සේගේ උත්තමකම ඔප්පු කිරීමට තිබෙන්නාවූ වැදගත් කාරණා වලින් ස්වල්පයක් ගෙනහැර  දක්වමි. මේ සභාවේ සිටින සියල්ලන් විසින් එය මනා කොට ඇසිය යුතුය. මෙලොව ප්‍රයෝජනය ලැබීම පිණිස කරන්නාවූ වැඩේ ඉතා ප්‍රවේසමින් කටයුතුය. මක්නිසාද පරලොව වැඩ සිද්ධ කර ගැනීම පිණිස කරන ක්‍රියාව නම් සැබෑවූ ආගමක් සොයාගෙන ඇදහීමය. සැබෑවූ ආගමක් අදහා මිස වෙන මොනයක් දෙයක් කරලා වත් පරලොව වැඩක් සිද්ධ කරගන්ට බැරිය. එම නිසා සැබෑවූ ආගමක් සොයා ගැනීමට අප සියල්ලන්ටම යුතුය. රත් රන් බදු මිලේට ගන්නා ය රන් කරුවන් ලවා පරීක්ෂා කරවා ඒවායේ වටිනාකම දන මිලේට ගනිති. එසේ කරන්නේ ඒ බදු ගන්න තැනැත්තාට එයින් අලාභයක් පැමිනේදොයි යන භයින්ය.  ඒ වාගේම ආගම්වල සත්‍ය අසත්‍ය කම පරීක්ෂා කිරීම පිණිස පළමු කොට පණ්ඩිතයන්ට භාර දීම යුතුය. පුරාණේ හිටිය ඉර්ෂිවරයාණන් වහන්සේලා නම් මහා පොලොව සමාන විශාලවූ ප්‍රඥාවකින් යුක්තව සියලු ලෝකයා විසින් ගරු කට යුතුව සියලු ශාස්ත්‍රයෙහි කෙලවරට පැමිණියාවූ උත්තමයන් වහන්සේලාය. ඒ උත්තමයන් වහන්සේලාගේ යටි පතුලේ ධුවිල්ලකට සමාන කරන්ට පුළුවන් පණ්ඩිතයෙක් දැනට ලෝකයේ නැත්තේය. එම නිසා උන්වහන්සේලා දැනට ලෝකයේ ජීවත්ව නැති නමුත් උන්වහන්සේලා විසින් කරපු පොත් පත් තවම තිබේ.  එබැවින් ඒ පොත්වලින් කොයි ආගම සබැදි කියා පරීක්ෂා කිරීමයුතුය. පුරාන ඉර්ෂින් වහන්සේලා විසින් කරන ලද වේද පුරාන වෛද්‍ය නක්ශාස්ත්රආදී නොයෙක් පොත් තිබේ එයින් භගවත් පුරාණය කියන වේදව්‍යාස කියන උත්තම ඉර්ෂින් වහන්සේ විසින් කරන ලස්ද පොතක්ය. ඒ පොත දැනට මා ළඟ තිබේ. මේ පොතේ මේ ලෙස කියා තිබේ.                                                      “අතංක ලෞසංප්ර වෘත්තේ සම්මොහාය සුරද්විසාම්
බුද්ධෝ නාම්නා ජින සුතන් කීකටේ ශුභ විශ්යාති”
මේ පොත කරන ලද ව්‍යාස ඉර්ෂින් වහන්සේ ජීවත්ව හිටලා තිබෙන්නේ  මේ දැන් පවතින කලියුගයට ප්‍රථම තිබුණු ද්වාපර යුගයේදීය. ඒ ද්වාපර යුගයේදී ජීවත්ව හිටිය ව්‍යාස  ඉර්ෂි විසින් කියන්නේ ඒ කලියුග වර්ෂය පැමිණි කල්හි ගයා ශීර්ෂයෙහි බුදු කෙනෙක් පහල වන බවය. බුදුන් බුදු වෙන්ට බොහෝ අවුරුදු දහස් ගණනකට ප්‍රථම බුදුන් කියා ලොක්කොත්තම කෙනෙක් පහළවන බව, මෙබඳු උත්තමයන් පවා කියා තිබේ. මේ භගවත් පුරාණේ කියන මේ පොත, බන පොතක් නොවේය. මේ පොත ඉර්ෂි වාක්‍යක්ය. මෙබඳු උත්තම ඉර්ෂි වාක්‍යවලින් පවා බුදු කෙනෙක් ලෝකයේ පහළවෙන බව ඔප්පු වේය. යෙහෝවා  කියා මවුන්කාර දෙවියෙක්  වත් “ක්‍රිස්තුස් කියා ගැලවුම්කාර දේවපුත්රයෙක්වත්”  ලෝකයේ  හිටින බවක් මෙබඳු සෘෂි වාක්‍යකින් තබා පුරාන මොනයම් පණ්ඩිත වාක්‍යකින්වත් ඔප්පු කරන්ට බැරිය. ඔය දෙදෙනා ගැන යමක් ඔප්පු කරනවානම් පුළුවන්කම තිබෙන්නේ මස් කඩවල තිබෙන හරක් එළුවන් මැරු ගණන ලියා තිබෙන ගණන් පොතක් වැනි හරක් එළු බැටළු කොබෙයි පරෙවි ආදී සතුන් මැරීමේ ගණන ලිවීමෙන්ම පිරී තිබෙන බයිබල  කබල පමණය. මේ බයිබල් කබල සැබෑ පොතක්ය කියා දැන් හිටින එරෝපාකාර කොයියම් පණ්ඩිතයෙක් වත් ඒත්තු ගන්නේ නැත බයිබලය හොඳට බලලා පුරුදු  එරෝපාකාර පණ්ඩිතයෝ පවා ඒත්තු නොගන්නාවූ ක්‍රිස්තියානි ආගම අප රට වාසීන්ට ඒත්තු ගන්ට තිබෙන යුතුකම මොකද? කිසිත් යුතුකමක් නැත්තේය. එම නිසා ක්‍රිස්තියානි ආගම දුරින්ම දුරු කට යුතුයි.

තවද වෛද්‍ය  ශාස්ත්‍රය වනාහී ලෝකයාට කරුණාවෙන් පුරාණයේ සිටිය සෘෂින් විසින් උපදවපු ශාත්රයක්ය. එම ශාස්ත්‍රයෙන් පවා බුද්ධාගමේ උතුම්  කම ප්‍රකාශ වේ. හේ කෙසේද:- “පිපාලි වෘෂ විහිෂකුෂදන් ධන්වායාස සහිතන් ශ්‍රතන්පයන් පිත්තකාශ විෂම ජ්වරන් ජයේත් ජාති ධුක්ක මිච සෞගතාමන් ”  යන මේ ශ්ලෝකය හෛසජ්ජ   කල්පයෙහි කාශ රෝග චිකිත්සාවේ තිබේ.
මෙහි අභිප්‍රාව නම් ‘තිප්පලී, වන, අපල, බුළු, ඉඟුරු කසභිලියා යන මෙයින් කකාරන ලද කසායෙන් පිත්ත කාශයද විෂම උණද නැති කරන්නේ කෙසේද කීවොත් සංසාර දුක බුද්ධාගම ඇදහීමෙන් නැති කරන්නක් මෙනි’ යනුයි. මේ ආදී ශාස්ත්‍ර පොත්වල පවා බුද්ධාගමේ උතුම්කම සඳහන් වේ. මේ අර ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයද ප්‍රශස්ත සෘෂීන් විසින් කරන ලද ශාස්ත්‍රයක්ය. ඒ ශාස්ත්‍රයෙන්ද බුද්ධාගමේ සැබෑකම ඔප්පු වේ. හේ කෙසේද:-කේන්දරවල ග්‍රහයන් හිටින අන්දමින් පුර්ව ජාතියද ඒ ජාතියෙහි කලාවූ සුචරිත, දුශ්චරිත දෙකද, මෙහිදී කරන ලද පින් පව්ද, කියන්ට පුළුවන. ඊට සාක්ෂි ” පුත්‍ර දිත්වස්ව ලග්න ජම්ම යතේ ආදිත්‍ය භවනේ පනී. මාතෘ ඝාත පරාර්ථ වොරක්රතමුත් පාදෙව පූර්වේ නිරේ”. යනාදී කියමන්ය. මෙයින්ද ඔප්පුවන්නේ යමෙක් උපන් ලග්නයෙහි ශනිද, සිංහ රාශියෙහි රාහුද සිටියොත් ඔහු පූර්ව ජාතියෙහි  දී මව් මරා අනුන් සතු වස්තුව සොරකම් කොට නරකාදියෙහි සිටිය බවය. මෙහිදීද එසේම පව් කොට දෙවනුත්  රෞරව  නිරයෙහි උපදින බවය. ඉතින් මේ අන්දමට සාක්ෂි වාක්‍ය වලින් පවා පූර්ව ජාතියක් තිබුන බව ඔප්පුවෙන හෙවත්, පූර්ව ජාතියක් ඇත කියන බුද්ධාගම සත්‍ය ආගමක් බවත් පූර්ව ජාතියක් නැත කියන ක්‍රිස්තියානි ආගම බොරු ආගමක් බවත් මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා.
තවද දශකුමාර චරිත කාව්‍යආධර්ෂ ආදී මහා ග්‍රන්ථයන් කලාවූ දන්දී නම් මහා කවීහු විසින් කරන ලද කාව්‍ය ධර්ශයෙහි ” සත්යමේ වාග සුගතන් සන්ස්කාරා නවීන ස්වරන්” යන්නෙන් සර්වඥයන් වහන්සේ සත්‍යම වදාල බව කියා තිබේ.

එම ටීකාවෙහි “ක්ෂණ භාගවාදී නා සුගතානන් මතේ” යනාදියෙන් බුද්ධාගමේ ප්‍රශස්ත භාවයද කියන ලදී. සර්වඥයන් වහන්සේ ගේ දේශනාවේ තිබෙන සත්‍ය කම මේ ආදී අනන්ත කාරණා වලින් ඔප්පු වේ. එම නිසා බුද්ධාගම ඒකාන්ත සත්‍ය වූ ආගමක් වන්නේය. එබැවින් ක්‍රිස්තියානි ආගම ඇත හරින්ටත් සුද්ධ වූ ඒකාන්ත සත්‍යවූ බුද්ධාගම පිලිගන්ටත් මේ දැක්වූ කාරණා ඇති කියා සිතමි.
තවද මේ පාදිලි තැන “නව යාත්‍රා කරන්නන්ට කිසි කලෙකවත් මහා මේර දකින්ට නොලැබුණු නිසා එබන්දුන්පර්වතයක් නැත” කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. දකින්ට නොලැබුන දේ නැති කීම පණ්ඩිත ගෝචර කියමනක් නම් කිසිවෙක් කිසි කලෙක නිදුටු තහනම් ගහත් නැතැයි කිව යුතුය. බොහෝ දුරට කාරණා සොයන ඉංග්‍රීසි කාරයෝවත් තහනම් ගහ තිබෙන තැන සොයාලා දැන ගත්තාද? නැත්තේමය. එම නිසා මේ පාදිලි තැන මහා මේර නැති බව ඔප්පු කරන්ට ගෙන හැර දැක්වූ කාරණා නිෂ්ඵල බව දෙවනුවත්, මේ සියල්ලන් විසින් දැන ගනිත්වා.
මීට ඉහත මා විසින් කළාවූ කථා වලදී   “ආත්මය, ප්‍රාණය” කියා ව්‍යවහාර කලා නම් ඒ ව්‍යවහාරයක් දැනට පවතින සම්මතයට එකඟ කොට කළ බවත්, මේ සියල්ලන් විසින්ම දැන ගනිත්වා. (කියා ඉන් පසු)  යහපතක් දුටු කළ එය තදින් අල්ලා ගැනීම නුවනැත්තන්ගේ චාරිත්‍ර ධර්මයක් නිසා සැබෑව බුද්ධාගම පිළිගෙන, සසර දුකින්  මිදී, උතුම් වූ නිර්වාන සම්පත් සිද්ධ කර ගැනීමට සියල්ලන් විසින් උත්සාහ කට යුතුය. (කියා මොහොට්ට්වත්තේ ගුණානන්ද උන්නාන්සේගේ අන්තිම පැයේ කතාව අත්හිටවන්ට යෙදුනා ඇත.)
එකල එහි රැස්ව සිටිය දස දහසක් පමණ සේනාවෙන් ටික දෙනෙක් හැර බුද්ධ පක්ෂයෙහිද, ක්‍රිස්තියානි
පක්ෂයෙහිද, රැස්ව සිටිය දෙ සෙනග අතරේ මහත් ලොකු සාධු කාර ශබ්දයක් පවත්වුවාය. ඊට ක්‍රිස්තියානි සමහරදෙනෙක් කෝප වූ බවද පෙනුනි. නමුත් ඒ ගැන කිසිම කෝලාහලයක් වුනේ නැත. ඒ කෝලාහලය වේගෙන  යන අතරේ බුද්ධ පක්ෂයට කතා  කළ මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ ඒ සමුහයා දෙස බලා ” සියල්ලන්ම නිශ්ශ්බ්ධ විය යුතුය” යි කියනවා සමගම ඒ මහත් සමුහයාගේ චංචල භාවය නැති වුනා සත්තකය. ඉන් පසු බුද්ධාගම්කාර සමුහයා මහත් ප්‍රීතියකින්ද, ක්‍රිස්තියනිකාරයෝ මහත් දොම්නසකින්ද විසිර ගියෝය.

නිමි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න