සඥාපනය

සඥාපනය
බෞද්ධ ක්‍රිස්තියානි යන ආගම් දෙක  පිලිබදව  වාගීශ්වර  මොහොට්ටිවට්ටේ  ගුණානන්ද  ස්වාමින්වහන්සේ  සහ දාවිත් ද සිල්වා පාදිලි  උන්නාන්සේ  අතර  1873  අගෝස්තු  මස  26 වෙනි  සහ 28  වෙනි දෙදින  පානදුරේදී කරන්නට  යෙදුන  විචිත්රාලංකාර   විශාල  විවාදයේ  සම්පුර්ණ  අදහස මෙහි  අන්තර්ගත වෙයි.  සිලොම් ටයිම්ස් නම් ප්‍රවුර්ති පත්‍රයේ කත්රුභුත ජෝන්  කැපර් මහත්මයා විසින් මෙම විවාදයේ සම්පුර්ණ භාවය  විවාදය කල වෙලාවන්හිදීම උගත් ඇද්වඩ් ප්‍රේරා මහත්මයා  ලවා  ඉංගිරිසි භාෂාවට රිවර්තය  කරවා  ගෙන  පිටපත්  දහස්  ගණනක්  මුද්‍රණය  කර  ප්‍රසිද්ද  කරනු  ලැබීය.
මේ විවාදය ඉංගිරිසි භාෂාවට පරිවර්තනය කරනු ලැබූ එඩ්වර්ඩ් ප්‍රේරා මහත්මයා සහ  එය  ප්‍රසිද්ද  කරවන්නට  යෙදුන ජෝන් කැපර්  මහත්මයත්  “අගතිගාමී  නොව  සාධාරණ  ලෙස  සිය යුතුකම් ඉෂ්ටකලෝය” යයි පළමුවෙනි වර  සිංහල පිටවත්වල සදහන් කරන ලද “මුළු හර්දයෙන්” යුත් ස්තුතියම කිරීමට අපිදු මසුරු නොවෙමු.
කැපර් මහත්මයා විසින් ප්‍රසිද්ද කරන ලද එම පොතේ පිටපතක් ඇමෙරිකන් දෙශිකයෙකුවූ  පණ්ඩිතාචාර්ය ෆීබල් මහත්මයාට ගාල්ලේ දී  දකින්නට ලැබී එය සිය රටට ගෙන ගොස් මෙම විවාදයෙන් ක්‍රිස්තු ලබ්ධියේ තත්වකර මිත්‍යා ස්වභාවය බෞද්ධ පක්ෂය විසින් මොනවට එළිදරව් කරන ලද  බව සහ  සම්බුද්ද  සමයේ ඒකාන්ත  ඍජු සත්‍යතාව  පෙන්වාදී ධාර්මික  පරිද්දෙන් ජයශ්‍රී ග්‍රහණය කරන ලද බවත් ප්‍රකාශ කරමින්  අගති  රහිත විනිශ්යයක් කොට ඇමෙරිකන් ජාතිකයන් අතර එම පිටපත් දහස් ගණනක් මුද්‍රණය කර විසුරුවා හැර තිබේ.  එම විනිශ්චය සහිත පොත් කර්නල් එච්. එස්. ඕල්කොට් මැඩම්   බ්ලවුස්කි ආදී උත්තම උත්තමවියන්ට කියවන්නට ලැබී එතුමොද මෙම විවාදය කල ජය භුමිය දර්ශනය කිරීම විශේෂ කරුණක් කොට සිත් තබාගෙන 1880 අවුරුද්දේ එහි පැමිණ එම ජය භුමිය සම්බන්දව සුභාසිංසන වාක්‍යයන් සහිත උද්ගෝෂණය කරන්නට යෙදුනා ඇත. ඕල්කොට් ආදී උතුමන්ගේ ලංකාතරණය හේතුකොට  ගෙන  සෛහලික  බෞද්ධ  ලබ්දිකවූ  මහජනයාට  ස්වසමයභිවර්දනය  උදෙසා  කලනුරුපව කටයුතු කිරීම පිණිස
කොලබ   ගාල්ල ආදී    පළාත්වල  පරම  විඥානාර්ථ  බෞද්ධ  සමාගම්  පිහිටුවීමටද  ඒ ඒ  ගම  නියම්ගම්වල බෞද්ධ පාටශාලා    පිහිටුවීමටද    පෙර නොතිබුණු  දයිර්යයක්  ඇතිවිය.
මෙයින් අවුරුදු 30 කින් පෙර කාලයෙහි බුද්ධ සමය පිලිබදව නොතිබුනාවූ  ශර්ද්‍යාසයක්  ලක්වැසි  බෞද්ධ  මහජනයා  කෙරෙහි  මෙකල   ඇතිවීමට  හා  ඇමෙරික ආදී  දෙස  දේශාන්තරයන්හි  සම්බුද්ධ සමය  පැතිර යාමටත්  පානදුරා වාදය   අසහාය හේතුව  වූ  බව කවුරුත් පිළිගන්න සත්‍යයකි.

බුද්ධාගමේ අභිවුර්දිය පිණිස එසා මහත් වාදයක් කොට අනල්ප උපකාරයක් කල වාගීශ්වර මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්ථවීර මහා ස්වාමින්වහන්සේද සහ උන්වහන්සේට ඒ පිණිස විශේස ආධාරෝපකාර කල ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිප්කදුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවීර ස්වාමින්වහන්සේද, සාසන වන්සාලන්කාර කවිධර විනයාචරිය වැලිගම ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවීර ස්වාමින්වහන්සේද, පානදුරේ ගුණරතන ස්ථවීර ස්වාමින්වහන්සේද, ප්‍රධාන දායක මුලික   මහතුන්වන කොරනේලිස් ප්‍රේරා කරුණාරත්න මහත්මයද පී. ජෙරමියෙස් දියෙස් මහත්මයද එම අසස්ද්රුෂ වාස භූමියද සිහිපත්වීමට සුදුසු යමක් කිරීම වර්තමාන කාලික බෞද්ධ ජනයාගේ බලවත් යුතුකමෙකි.

එබැව මෙනෙහි කරන ලද්දාවූ මහතුන් කිහිප   දෙනෙකුන් විසින් පසුගිය පෙබරවාරි මස 15 වැනි දින පානදුරේ උපාද්‍යාය සමාගමේ පාටශාලාවට බෞද්ධ මහා ජනයාගෙන් යුත් මහා සභාවක් පමුණුවා ගෙන එම සභා සම්මතයෙන් යථෝක්ත වාද භුමියෙහි ගුණානන්ද ස්වාමින්වහන්සේ උදෙසා ශිලා ස්ථම්භයක් සහිත ශිලා ප්‍රතිමාවක් පිහිටු වීමටද, අනිකුදු නායක මහා ස්ථවිඑඑර ස්වාමින්වහන්සේලා ගෙන් සහ මුලික දායක මහතුන් දෙදෙනාගෙන් ලත් ආධාරෝපකාර සඳහන් කොට ශිලා ලේකනයක් පිහිටුවීමටද නියම කර ගන්නා ලදී. තවද මෙම සත් කාර්යන් සඳහා බෞද්ධ මහා ජනයාගෙන් ලැබෙන ආධාර මුදල් නොමදවී අතිරේක මුදලක් අතිවීනම් මහා ජනයාට ප්‍රයෝජන විය යුතු පරිදි ප්‍රසිද්ද ශාලාවක්  තැනවීමටද සම්මත කර ගතිමු.

මෙම විවාද පොතෙන් පිටපත් දහස් ගණනක් 1874 රේ අවුරුද්දේ මුද්‍රණය කරව  ලක්වැසි මහජනයා අතර විසුරුවා  හරින ලද  නමුත්  වර්තමාන  කාලයෙහි  ඒ වුවමනාවූ  බොහෝ  දෙනෙකුට  සොයා ගැනීම  දුෂ්කරව තිබේ.

එම පාඩුව පිරිමැසීමට හා කියනලද සත්කෘත්යයන් සඳහා වියදම් කිරීමට මහත් මුදලක්  ඔනෑ  කරන  හෙයින්  මෙම  පොත  විකිණීමෙන්  ලැබෙන  ලාභ  මුදලද  එකී  මුදල්  සන්ක්‍යාවට  එකතු  කිරීමට  අදහස්  කොට  දෙවෙනිවර  මින්  පිටපත්  2000 ක්  අප  සමිතිය  විසින් මුද්‍රණය කරන ලද්ද්දේය.

මෙම පොත පළමුවර මුද්‍රණය කිරීමේදී යොදා තිබෙන  සඥාපණයෙහි     වාද කතාව ඇසීම  පිණිස  බෞද්ධ    ලබ්ධිකයෝ හත්  අට  දාහක් පමණද (විවාදය අවසානවූ දින දස දාහක් පමණද) ක්‍රිස්තු  ලබ්ධිකයෝ සිය ගණනක් පමණද පැමිණි බව කියා තිබේ.

තවද බෞද්ධ පක්ෂයට සිප්කදුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවිරයනන් වහන්සේද, රත්මලානේ ධම්මලන්කාරභිධාන   නායක ස්ථවිරයනන් වහන්සේද, බුලත්ගම සිරි සුමනතිස්ස  ස්ථවිරයනන් වහන්සේද, වැලිගම ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවිරයනන් වහන්සේද, වස්කඩුවේ පවර නිරුක්තිකාචාර්ය මහා විභුති නායක ස්ථවිරයනන් වහන්සේද, පොතුවිල ඉන්දජෝති ස්ථවිරයනන් වහන්සේද, කොග්ගල සිරි සංඝතිස්ස ස්ථවිර ස්වාමින් වහන්සේද, තලහෙනේ අමරමෝලි ස්ථවිර ස්වාමින් වහන්සේද, මුල්ලේරියාවේ ගුණරතන ස්ථවිර ස්වාමින් වහන්සේද, මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්ථවිර ස්වාමින් වහන්සේද, යනාදී සියක් නමක් පමණ සියම් අමරපුර දෛනිකායික ස්ථවිර ස්වාමින් වහන්සේලා පැමිණ හුන් බව ප්‍රකාශ කර තිබේ.

ක්‍රිස්තියානු පක්ෂයේ ප්‍රධානියෝ වශයෙන් දාවිත් ද සිල්වා, ඇස්. ලන්ඩන් ,ආර්. ටැබ් , ඇස්. කෝල්ස්, සී. ජයසිංහ, පී. රුද්‍රිගෝ  ආදී පාදිලිවරුද, සිරිමාන්න ආදී කතිසේරුවරු කීප දෙනෙක්ද, හුනුපොල නිලමේද, ස්ටේපල් දොස්තර තැනද, ජයසිංහ පෙරකදෝරු තැනද, සුසෙව් ද සොයිසා මුදලි තුමන් ආදී වැදගත් මහතුන්ද පැමිණ සිටියෝ  යයි කියා තිබේ. මෙම දෙපක්ෂයෙන් බෞද්ධ පක්ෂයට මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේද ක්‍රිස්තියානි පක්ෂයට දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ සහ සිරිමාන්න කතිසේරු තැනත් කතා කල බව කියා තිබෙනවාත් හැර  කිසි  කලකොලාහලයක්  නැතිව  යහපත්  ලෙස  විවාදය  කරන්නට  යෙදුනු  බවද  කියා තිබේ.

1873 අගෝස්තු මස 26 වෙනි දින උදේ 8-9 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ  විසින්  පටිච්ච   සමුප්පන්න  ධර්මයට  දෝෂාරෝපනය   කිරීම  වශයෙන්  හා  මනුෂ්‍යයන්ගෙන්  පරලොවට  යන  “ආත්මයක් නැති උගන්වා තිබෙන බෞද්ධ  මතය  මිත්‍යය”  යි  ප්‍රකාශ කිරීම්  වශයෙන්ද  කරන ලද  කථාවට  පු. භ. 9-10 දක්වා  මොහොට්ටිවත්තේ ගුණානන්ද  ස්වාමින්වහන්සේ   විසින්  පිළිතුරු දී  යලිත්  ක්‍රිස්තියානින්ගේ  දෙවියෝ   (යෙහෝවා වහන්සේ )  ඉර්ශ්‍යවන්තවුද,  දිව්‍යඥාන  රහිතවුද,    සියලු බලය නැත්තාවුද, භය සුලුවුද,  පිළිකුල්  කටයුතු  ද්‍රව්‍යයන්හි  ගිජුවුද කෙනෙක් බව හේතු සහිතව පෙන්වා කථාවක් කරන ලදී.අගෝස්තු මස 26 වෙනි දිනම අ. භා. 3-4 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ ගුණානන්ද ස්වාමින්වහන්සේ ගේ කතාවේ කරුණු කීපයකට ප්‍රත්‍යුත්තර වශයෙන් කථාවක් කිරීම සහ පටිච්ච සමුප්පාද ධර්මය සම්භන්ධව තම මුලාවූ අදහසම නැවත ගෙන හැර පා කථා කිරීමද, 4-5  දක්වා ගුණානන්ද ස්වාමින්වහන්සේ තම පළමුවෙනි පැයේදී   “Jesus God” යන  වචනය  සඳහා  අසන  ලද  ප්‍රශ්නවල  ක්‍රිස්තියානි  පක්ෂයෙන් පිළිතුරු නුදුන් බවද, “තවනාමෝ පවිත්තෝ හොතු” යයි තිබෙන  පාලි  වාසගම්  කැබැල්ල  බයිබලයේ  බුරුම  පොතෙන්  උපුටා  සිල්වා පාදිලි උන්නාන්සේ “ග්‍රන්ථ සේකරය”  ට ඇතුලත්  කිරීමේදී තමන්  පාලි  භාෂාව  උගතෙක්  නම් මෙහි  විද්‍යමානවූ  දෝෂ හරි නොගස්ස   නොයොදන බවද,   සිල්වා පාදිලි උන්නාන්සේ   විසින් පාලි භාෂාව නිසිලෙස නොදැනුම හේතු කොට ගෙන ආකූල කරගන්නා ලද පටිච්ච සමුප්පාද  ධර්මයෙහි  සංක්ෂේප  විස්තරයක්  සහිත  සත්වයන්ගේ  චුති ප්‍රතිසන්ධි  වන පරිදිද,  ක්‍රිස්තු ලබ්ධියෙහි  දොස්  දක්වා  තවත්  කරුණුද ප්‍රකාශ කරන ලදී.

 අගෝස්තු මස 28 වෙනි දින පු.භා. 8-9 දක්වා ක්‍රිස්තියානි පක්ෂය වෙනුවෙන් සිරිමාන්න කතිසේරු තැන  විසින්  ගුණානන්ද ස්වාමින්වහන්සේගේ කථාවට නොගැලපෙන කරුණු උත්තර වශයෙන්   ගෙන හැර පා ඉක්බිති ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ දාන පාරමිතාදියට ද, බුද්ධාදී රත්නත්රයද, දෝශාරෝපනය කොට කථාවක් කරන ලදී. එම කතාව 9-10 දක්වා ගුණානන්ද ස්වාමින් වහන්සේ සර්වප්‍රකාරයෙන්ම ප්‍රත්‍යුත්තර   වන්නාවූ  තර්කානුකුල ඉතා පැහැදිලි කථාවක් කර ක්‍රිස්තියානි පක්ෂයේ එඩිතර භාවය මැඩපවත්වමින් ප්‍රශ්න කීපයකට මතු පැමිණෙන පැයේදී පිළිතුරු දෙන බව ප්‍රකාශ කර තිබේ. 28 වෙනි දින අ.භා. 3-4 දක්වා නැවතත් දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින්  තමන්ගේ  මුල් කතාවම  ඉදිරියට පා,  අවුල් කරමින් කරන ලදුවත් හැර “මහමෙර” නම්  පර්වතයක්  නැත කියාද,  විනය නිධාන  කතාදියට   දොස් පවරීමක්ද  කොට කථාවක් කරන ලදී. 4-5 දක්වා ගුණානන්ද ස්වාමින්වහන්සේ අවසාන කථාව පටන්ගෙන ක්‍රිස්තියානි පක්ෂය විසින් අසන ලදින් ඉතිරිව තිබු ප්‍රශ්නවලට උත්තර දී අතිරේක වශයෙන්  කියයුතු කරුණුද  විචිත්රාලන්කාර  ව්‍යක්තවූ  වාගීශ  භාවයෙන්  යුක්තව  ප්‍රකාශකොට සමාප්ත කල බව දක්වා තිබේ.

P.A.Peiris

James Dias

මොහොට්ටිවත්තේ ගුනනද ස්වාමින්වහන්සේ ආදී උතුමන් සිහිපත් වීම  පිලිබඳ කෘත්‍ය සාධක සමිතියේ ලේකම්වරු වම්හ.

1903 ඔක්තෝම්බර් මස 30 වෙනි දින

පානදුරේ දීය

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )